සහාධිපත්‍ය දේපළ මිළදී ගැනීමේදී සැළකිලිමත් වියයුතු කරුණු මුද්‍රණය
ලියන ලද්දේ Administrator   
2011 ඔක්තෝබර් 12 වෙනි බදාදා, 09:41

සහාධිපත්‍ය දේපළ මිළදී ගැනීමේදී සැළකිලිමත් වියයුතු කරුණු

පෞද්ගලික අංශයේ සමාගම් රාශියක් විසින් ද සමහර පුද්ගලයින් විසින් ද සහාධිපත්‍ය දේපළ ඉදිකරනු ලැබේ.  පිළිගත් සමාගම් විසින්  ඉතා මිළ අධික, අති

සුඛෝපභෝගී පහසුකම්වලින් යුත් ඒවා ඉදිකරනු ලබයි.  කෙසේ වුවද, කුමන තරාතිරමක හෝ සහාධිපත්‍ය දේපළක ඒකකයක් මිළදී ගැනීමට අදහස් කරන්නේ නම්, පහත සඳහන් කරුණු කෙරෙහි සැළකිලිමත් විය යුතුය.  එම කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මෙම ක්ෂේත්‍රයේ නියාමන අධිකාරිය ලෙස ලැබූ අත්දැකීම් ඇසුරෙනි.

සහාධිපත්‍ය දේපළක ඒකකයක් මිළදී ගැනීමේදී තෝරා ගනු ලබන ඒකකය හෙවත් නිවස සහ එහි අභ්‍යන්තරය ගැන පමණක් සැළකිලිමත්වීම ප්‍රමාණවත් නොවේ.  එයට හේතුව වන්නේ ඔවුන් තවත් පිරිසක් සමඟ සාමූහිකව ජීවත්වීමට සුදානම් වන හෙයින්, ඒ සඳහා වූ පහසුකම් නිසිලෙස සපයා තිබේද යන්න පිළිබඳව පළමුව සොයා බැලිය යුතුය.  එම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා අදාල පළාත් පාලන ආයතනය ලබාදී ඇති දේපළ සංවර්ධන බලපත්‍රය හා අනුමත ගොඩනැගිලි සැළසුම මෙන්ම අනුකූලතා සහතිකය පරීක්ෂා කිරීම සඳහා දේපළ සංවර්ධකයාගෙන් ඉල්ලා සිටිය හැක.  කොපමණ මහල් ගණනක්, නිවාස ඒකක ප්‍රමාණයක් අනුමත කර තිබේද යනවග එම ලේඛනවලින් පැහැදිලි වේ.   දේපළ මිළදී ගන්නන් විසින් තමන් මිළදී ගත් නිවාස ඒකක සඳහා ඔප්පු ලබා නොදුන් බවට සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය වෙත කරන ලද පැමිණිලි රාශියක් විභාග කිරීමේදී  පහත සඳහන් කරුණු හෙළිදරව් වී ඇත.

 

1.    පළාත් පාලන ආයතනයෙන් අනුමත කරන ලද සැළැස්මෙහි ඇති මහල් ප්‍රමාණයට වඩා මහල් ප්‍රමාණයක් අනුමැතියකින් තොරව ඉදිකිරීම

2.    බිම් මහලේ   රථගාලෙහි අනුමත රථවාහන නවතා තැබීමේ ස්ථාන අඩුකර එහි කාර්යාල, කඩ සාප්පු ආදිය ඉදිකර විකිණීම.

3.    පොදු අංගෝපාංගයක් වන (රූෆ් ටෙරස්) වහලයේ වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම

4.    නිවාස ඒකක සඳහා ජල හා විදුලි සැපයුම ලබා දී ඇතත්,  නිත්‍යානුකූල  ලෙස ඒකකයන්ට වෙන් වෙන්ව එම සම්බන්ධතා ලබානොදී, මුල් ඉදිකිරීම් අවස්ථාවේදී ලබාදී ඇති සම්බන්ධතාවයෙන් නීති විරෝධී ලෙස එම සැපයුම් ලබාදීම.

තවද ඉහත සඳහන් ගොඩනැගිලිවල ඇති නිවාස ඒකක මිළදී ගත් පුද්ගලයින්ට, මේ දක්වා ඇත්තේ අළෙවි ගිවිසුමක් පමණි.  අදාල පළාත් පාලන ආයතනයට ඉහත තත්වය තුල අනුකූලතා සහතිකය ලබාදීය නොහැක.  එවන් අවස්ථාවක එම දේපළ, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කළ නොහැකි බැවින්, දේපළ සඳහා ඔප්පු ලබාදීමට ද නොහැක.

 

එසේ අලෙවි ගිවිසුමකින් මිළදී ගත් නිවසක් උකස් කිරීමට හෝ  විකිණීමට පමණක් නොව තම දරුවන්ට පැවරීමට ද නොහැක.  වංචනික දේපළ සංවර්ධකයින්ට රැවටී දේපළ මිළදී ගත් සිය ගණනක් පාරිභෝගිකයින්, සිය අයිතිවාසිකම් ලබාදෙන ලෙසට සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට පැමිණිලි කර ඇත.  සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය,  2003 අංක 39 දරණ බද්ධ නිවාස අයිතිකම් පනතේ විධි විධාන  අනුව දේපළ ඉදිකිරීමෙන් පසු ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි නොකිරීම සම්බන්ධයෙන් එවන් වංචනික දේපළ සංවර්ධකයින්ට විරුද්ධව     නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.  එමෙන්ම දේපළ සවර්ධකයින් කිහිපදෙනෙකු විසින් කරන ලද එවන් සමහර අනවසර ඉදිකිරීම්  ඉවත් කර, පළාත් පාලන ආයතනයේ අනුකූලතා සහතිකය ලබාගැනීම සඳහා මෙම අධිකාරිය  මැදිහත් වී ඔවුන්ට ඔප්පු ලබාගැනීමට හැකිවන ලෙසට අවශ්‍ය කටයුතු කර තිබේ.